හැඩතලවලට පණ දී අපුරු රූ රටා මැවූ තරුණයා

හැඩතලවලට පණ දී අපුරු රූ රටා මැවූ තරුණයා

චිත්‍රයක් කියන දේ ගත්තාම අපි ඒක දිහා බලන විදිහ හරිම වෙනස්. මැටි ගොඩක් එකතු කරලා ගඩොල්, මැටි වළං හදනවා වගේ ඒකෙන් අපුරු හිත් ආකර්ෂණය කරගන්න නිර්මාණයක් කරන්න දක්ෂ හොඳ ඇසක් තියෙන නිර්මාණ ශිල්පියෙකු පුළුවන්. නුවන් චාමික කියන්නෙත් ඒ වගේ අපුරු දක්ෂ නිර්මාණකරුවෙක්.

හැබැයි චාමික නිර්මාණයන් කළේ මැටිවලින් නම් නෙමෙයි. හැඩතලවලින්. හැඩතල කියන්නෙත් තවත් එක් නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක්. ඒ නිර්මාණය තවත් නිර්මාණශිලීව නිර්මාණය කරන්න චාමික සහෝදරයා සමත් වෙනවා. ඉතින් “නිතත කථාසල්ලාපය” තුළින් චාමික සමඟ පුංචි කතාබහක නිරත වුණා.

චාමික සහෝදරයා ඩිජිටල් චිත්‍රකරණය නැත්නම් පරිගණකය ආශ්‍රයෙන් චිත්‍ර නිර්මාණය කිරීමට පෙළඹී තිබුණේ ඔහු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ. ඔහු ඒ ගැන අපේ කතාබහ තුළ දී මතක් කළේ මේ විදිහට,

පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳිනවා. හරියට ඇකඩමික් පුහුණවක් ඇතුළේ චිත්‍ර අඳින්න පටන් ගත්තේ කැම්පස් ආවාට පස්සේ…”

ඔහුගේ දක්ෂතාවය ඔහු මතු කරගන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය තුළදී. පුංචි කාලේ දී අතට අහුවෙන දේවල්වලින් චිත්‍ර ඇඳපු චාමික සහෝදරයා පාසල් කාලය තුළදී චිත්‍ර විශය නිසාම සෑහෙන්න ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණා. ඒත් විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කිරීමත් එක්ක ඔහු වෙනස්ම ආකාරයක චිත්‍ර අඳින්න යොමු වෙනවා.

ඔහුගේ චිත්‍ර ඇතුළේ තිබුණු අපුරු වූ වෙනසක්. අපි නිකන්ම පැන්සලක් හෝ පෝටෝෂෝප් බ්‍රශ් එකක් භාවිත කර අඳිනවට වඩා වෙනස් ආකාරයක නිර්මාණශිලීත්වයක් ඔහුගේ චිත්‍ර තුළ තිබුණා. චාමික සහෝදරයාගේ චිත්‍රවල තිබුණේ හැඩතල යොදාගෙන කරපු වෙනස් ආකාරයක සිතුවමක්. හැමෝම පැන්සල්, පාට පැස්ටල් භාවිත කරමින් අඳිනවට වඩා වෙනස්ම ආකාරයක් භාවිත කිරීම ගැන අපි ඔහුගෙන් විමසීමක් කළා ඔහුගේ පටන්ගැන්ම ඔහු කිව්වේ මෙවන් දෙයක්,

“හැඩතල එක්ක කරන ගනුදෙනුවට මං ගොඩාක් කැමති. අපේ කැම්පස් එකේ ඔක්කොම ඉන්නේ චිත්‍ර අඳින හැකියාවක් තියෙන අය. ආලේක්‍ය චිත්‍ර හරිම ප්‍රසිද්ධයි. සමහර අය මේ ආලේක්‍ය චිත්‍ර ඇතුළේ එක රාමුවක් තුළ අඳින අය. මට වෙනසක් ඕන වුණා. මම විවිධ ශෛලයන්ගෙන් ඇන්ඳා. එහෙම අඳින කාලේ අහම්බෙන් ෆේස්බුක් එකේ දැක්කා Pablo Lobato කියන චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍ර වගයක්. හිතාගන්න බැරි වුණා එයා හැඩතල භාවිත කරලා චිත්‍ර ඇඳලා තිබ්බ හැටි. එතන තමයි මගේ ආරම්භය….”

රාමුවෙන් පිට හිතෙන එකෙන් වැරද්දක් වෙන්නේ නැහැ කියන එක චාමික සහෝදරයා ඔප්පු කරලා තිබුණා. ඔහුට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ඒ නිසාම ලැබිලා තිබුණා. හැමෝම එකම දේ එකම විදිහට බලනවා නම් එතන නිර්මාණයක් බිහි නොවෙන්න තිබුණා. ඉතින් චාමික සහෝදරයා පළවෙනි පාරට ලංකාවට ඩිජිටල් චිත්‍රශිල්පය තුළ හැඩතලවලින් නිර්මාණය කරන ලද චිත්‍රයන් හඳුන්වා දෙනවා.

නුවන් චාමික සහෝදරයා

ඔහුගේ සිතුවම්වලට තෝරාගෙන තිබුණේ සමාජය තුළ සමහර අවස්ථාවල දැඩි අන්දෝලනාත්මක කතා කියන, ප්‍රසිද්ධ, ජනප්‍රිය චරිත අතරින් කිහිපයක්. ඒ වගේම සමාජයේ විවිධ තරාතරිම්වල අයට පුද්ගල චරිත වූ අයයි. ඉතින් ඇයි මේ චරිතම තෝරගත්තේ කියන එකත් අපිට ගැටලුවක් ව තිබුණා. ඔහු ඒකටත් හරි අපූරු උත්තරයක් දුන්නා.

“ගොඩාක් චරිත මම පෞද්ගලිකව ප්‍රිය කරන, ගරු කරන චරිත. මේ ගොඩාක් චරිත අනිත් මිනිස්සුන්ගේ චරිත වෙනස් කරපු චරිත…”

ඔහුගේ චරිත වෙනස් කරපු කතාව අහපු ගමන් අපිට තවත් දෙයක් ගැන අවධානය යොමු වුණා. එකම වර්ණ රටාවන් වෙනුවට මේ හැම චරිතයකට අනූන වු වර්ණයන් ඔහු විසින් යොදාගෙන තිබුණා. ඒකට හේතුව මොකක්ද? එතනත් අපි බලාපොරොත්තු වුණා වගේම හරිම අපුරු උත්තරයක් ඔහුට තිබුණා.

“..චිත්‍රයක අර්ථය වෙනස් කරන්න පාටවලට පුළුවන්. සමහර තැන්වල මට ඕන වුණා චරිතය පාට හරහා කියවන්න…”

හොලිවුඩ් සිනමාව තුළ පවා මේ සංකල්පය භාවිත කරන ඔවුන්ගේ චිත්‍රපටවලට කතාවේ ප්‍රධාන චරිතයන් තුළ ඇති ගුප්ත බව සහ ඔවුන්ගේ මනසේ ස්භාවය පෙන්වීමට අධ්‍යක්ෂකවරුන් අඳුරු වර්ණ යොදාගන්න අවස්ථා දැක ගන්න පුළුවන්. එය චිත්‍රයකට ගෙනත් ඒ ඒ වර්ණවලින් මිනිස්සුන්ගේ ජීවිතවලට අර්ථකතනයක් දීම ඒක වෙනම මට්ටමක වැඩක්. චාමික සහෝදරයා ඒ වැඩේ හරි අපූරුවට කර තිබුණා.

ඉතින් ක්‍රමයක් බිඳ දාලා ක්‍රමයක් නිර්මාණය කරද්දී ඒක සෑහෙන්න අභියෝගාත්මක දෙයක් වෙනවා. චාමික සහෝදරයාට මේ අපුරු සිතුවම් නිර්මාණය කිරීමේ දී අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔහු ඒ ගැනත් අපි සමඟ අදහස් බෙදා ගත්තා.

“…මම අවුරුදු 2කට විතර කළින් ඇඳලා මේ විදියටම ෆේස්බුක් එකේ දැම්මා. මෙච්චර ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. කවුරුවත් වැඩිය උනන්දු වුණේ නැහැ. මගේ මේ තරම් ශෛල දියුණු වෙලා තිබුණෙත් නැහැ. ඒත් මේකට තිබුණු ආසාව නිසා අඳින්න ඕන කමක් තිබුණා. ඒත් ජොබ් එක නිසා චිත්‍ර අඳින්න බැරි වුණා, මම කාර්යා බහුල වෙලා හිටියා. කොරෝනා නිසා ලැබුණු නිවාඩුව හම්බුණු වෙලාවේ ඉඩක් ලැබුණේ ආයෙත් අඳින්න. කොහොමත් අවුරුද්දක් විතර ඇඳපුවා මේ…”

මුලින්ම කරපු නිර්මාණයන්වලට කාගෙවත් අවධානයක් යොමු නොවී තිබුණු කලක ඊට පස්සේ ඔහු විසින් නැවත වරක් තමන්ගේ ආසාව නිසාම උත්සාහයක් අරගෙන නැවත නිර්මාණය කරනවා. ඒ වගේම විශාල පිරිසකගේ අවධානය ඔහුට හිමි කරගැනීමටත් සමත් වෙනවා. පළවෙනි පාර දෙයක් කරලා අත්හරින අය අතරේ චාමික සහෝදරයාගේ ඒ උත්සාහය නම් අපුරු පාඩමක්.

ඒ වගේම හැඩතලවලින් චිත්‍ර නිර්මාණය කිරීමේ දී ඔහුට අභියෝගයක් ව තිබුණු තවත් දෙයක් සඳහන් කරමින් කිව්වේ හැඩතලවලින් පුද්ගල දේහලක්ෂණ නැතිනම් චරිතයේ හැඩය මතු කරගැනීමත් අභියෝගාත්මක දෙයක් බවයි.

ඔහු විසින් නිර්මාණය කරගත්ත මේ චිත්‍ර රටාවන් මෙතනින් ඔහුට නවත්තන්න ඕන කමක් නම් නැහැ. ඔහු ඒ නිර්මාණයන් එතනින් එහාට ගෙනියන්න ලොකු උත්සාහයක් ගන්න බව නම් නිසැකයි. ඔහු ඒ ගැනත් අපිට මේ විදිහට කිව්වා,

“තව සෑහෙන්න දියුණු කරගන්න ඕන තැන් තියෙනවා. මෙතින්න ඉස්සරහට තව අඩියක් තියන්න මට ඕන. කෙනෙක්ව බලාගෙන ඒ විදිහටම පිටත්පත් කිරීමකින් එහාට ගිහිල්ලා ඒ ඒ චරිතය ගැන ගැඹුරු අදහසකින් කියවගන්න පුළුවන් විදිහට වර්ණ, හැඩතල එක්ක වැඩ කරන්න ආසයි….”

ඒ වගේම මේ සියල්ල තුළ ඔහුගේ පුංචි බලාපොරොත්තුවක් ගැනත් අපිත් එක්ක කිව්වා, ඔහු විසින් නිර්මාණය කරගත්ත මේ චිත්‍ර ක්‍රමය දියුණු කරමින් ඉස්සරහට යන අතරම ඔහුගේ මේ අපුරු චිත්‍ර එකතු කරලා ප්‍රදර්ශනයක් තියන්නත් නුවන් චාමික සහෝදරයාගේ අදහසක් තියෙන බව ඔහු කිව්වා. ඉතින් ඒ ප්‍රදර්ශනයක් විශාල ආකර්ෂණයක් ඇති කරගන්න සමත් වෙන ප්‍රදර්ශනයක් වන බවට නම් අවිවාදාත්මකයි.

ක්‍රමයක් තුළ රාමුවක් තුළ හිරවෙලා ඒකම ඇතුළේ හිතන්නේ නැතුව එතින් එළියට බැහැලා ලෝකය තමන්ගේ විදිහට දකින්න උත්සාහ කරන අතලොස්ස අතර චාමික සහෝදරයා අලුත් දෙයක් කරන්න සමත් වෙනවා.

ඉතින් ඔහුගේ චිත්‍ර ගැන ඔබට හිතෙන දේ කමෙන්ට් එකකින් අපිට කියන්න. ඔබේ අදහස්වලට අපි විවෘතයි.

මෙම සියලු චිත්‍රවල අයිතිය නුවන් චාමික සහෝදරයා සතුයි

7+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page