මලයාලම් සිනමාවේ පළමු සලරුව “Vigathakumaran”

මලයාලම් සිනමාවේ පළමු සලරුව “Vigathakumaran”

මලයාලම් සිනමාව අද වන විට ඉන්දීයානු සිනමාව තුළ ආධිපත්‍ය තහවුරු කරගෙන සිටින බොලිවුඩ් සිනමාවට අභියෝග කළ හැකි මට්ටමට නිර්මාණය වී තිබේ. නමුත් ආරම්භයේ දී මලයාලම් සිනමාව තුළ තිබුණේ ආසාර්ථක වූ පටන්ගැන්මකි.

එයට උදාහරණයක් ලෙස සඳහන් කළ හැක්කේ මලයාලම් සිනමාවේ පළමු සලරුව වන “Vigathakumaran” හී පිටුපස කතාව සඳහන් කළ හැකිය.

Vigathakumaran නැතිනම් “නැති වූ දරුවා” චිත්‍රපටය ආරම්භ වන්නේ වර්ෂ 1928 දී තමිල්නාඩුවේ පිහිටි කුඩා දිස්ත්‍රික්කයක් වන කන්‍යාකුමරි දිස්ත්‍රික්කයේ අගස්තීෂ්වරන් නම් ප්‍රදේශයෙනි. මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ එකළ දන්ත වෛද්‍යවරයෙකු වූ ජේ.සී ඩැනියල් විසිනි. ඔහුව මලයාලම් සිනමාවේ පියා ලෙසද සැලකුවාට වරදක් නැත. ඔහු තැබු පියවර අද දැවැන්ත සිනමා කර්මාන්තයක් බිහි කිරීමට සමත් විය.

J.C Daniel (upperstall.com)
J.C Daniel (upperstall.com)

1900 නොවැම්බර් 28 වැනිදා අගස්තීෂ්වරන් ප්‍රදේශයේ දී උපත ලබන ඩැනියෙල් කුඩා කාලයේ සිටම කලාව මෙන්ම ඉන්දීයානු සටන් කලාව පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වීය. ඒ නිසාම ඔහු එම විශයන් පිළිබඳව අධ්‍යයනය කටයුතු කළ අතර ඒ ඇසුරින් ඉංග්‍රීසි බසින් පොතක් ද ලිවීමට කටයුතු කළේය.

නමුත් ඔහුට එතනින් එහාට ගිය සමාජමය කටයුත්තක් කිරීමට නිතරම සිත තුළ වද දීමට පටන් ගත්තේය. ඔහු අවසානයේ ඔහුගේ ආශාව සංසිදුවා ගැනීමට තරම් ප්‍රබල නිර්මාණයක් කිරීමේ අදහස නිර්මාණය කර ගත්තේය. ඒ අනුව නැති වූ දරුවා හෙවත් Vigathakumaran නම් නිහඬ චිත්‍රපටය නිර්මාණය වීම ආරම්භ විය.

ජේ.සී. ඩැනියෙල් සහ ඔහුගේ බිරිඳ ජැනට් (Wikipedia)

1928 දී නිර්මාණය වු මෙම චිත්‍රපටය තුළ අපගේ රට පිළිබඳවද සඳහන් ව ඇත. කතාව ගලා යන්නේ මෙවන් සිදුවීමක් වටාය.

“…ධනවතෙකුගේ දරුවෙකු වූ චන්ද්‍රකුමාර් ව භූතානාදන් නම් වූ දුෂ්ටයෙකු එකළ සිලෝන් (ලංකාව) වෙත පැහැරගෙන යයි. චන්ද්‍රකුමාර්ගේ දෙමාපියන් ඔහුව සෙවීම තැත් කළත් එය නිෂ්පල කටයුත්තක් වෙයි. චන්ද්‍රකුමාර් ලංකාවේ දී තේ වතුයායක කම්කරුවෙකු දාව හැදී වැඩෙයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන වතු යායේ හිමිකරුවාගේ සිත් දිනා ගැනීමට මේ චන්ද්‍රකුමාර්ට හැකිවෙන අතර ඔහු ඒ නිසාම වතුයායේ අධිකාරිවරයෙකු ලෙසද පත්වෙයි. පසු කළක චන්ද්‍රකුමාර්ගේ දුරින් නැදෑයකු වන ජයචන්ද්‍රන් ලංකාවට පැමිණෙන අතර අහම්බයකින් මෙන් භූතානාදන් විසින් ජයචන්ද්‍රන්ගේ භාණ්ඩ පැහැරගෙන පලා යයි. පසුව අතරමංව සිටින ජයචන්ද්‍රන්ව චන්ද්‍රකුමාර් විසින් සොයා ගන්නා අතර දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වේ.

පසුව මෙම දෙදෙනා ඉන්දීයාවේ තිරුවානපුරම් වෙත පැමිණෙන අතර එහිදී ජයචන්ද්‍රන්ගේ නැගණිය සමඟ චන්ද්‍රකුමාර් ආදරයෙන් බැඳේ. භූතානාදන් ඔවුන් පසුපස පැමිණ ජයචන්ද්‍රන්ගේ නැගණිය පැහැර ගැනීමට උත්සාහ කරන අතර එහිදී මිතුරන් දෙදෙනාගේ මැදිහත් වීම මත පැහැර ගැනීම ව්‍යාර්ථ කරනු ලබයි. පසුව චන්ද්‍රකුමාර්ගේ පිට තිබුණු කැළලක් මඟින් ඔහුව හඳුනා ගන්නා අතර ඉන් පසුව පවුල සතුටින් ජීවත් වෙයි…

චිත්‍රපටයේ කතාව එය වන අතර මෙම චිත්‍රපටය නිර්මාණය කර තිරගත කිරීම් ආරම්භ කරන්නේ 1930 වසරේ ඔක්තොම්බර් 23 වැනිදාය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මෙන්ම නිෂ්පාදනයද කළ ජේ.සී. ඩැනියෙල් සිහිනයකින්වත් නොසිතු දෙයක් චිත්‍රපටය නිෂ්පාදනයෙන් පසුව තිරගත කිරීමේ දී සිද්ධ විය.

චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය කළ රෝසි නම් කාන්තාව අඩු කුලයක කාන්තාවක් වීම නිසා ඉහළ කුලයේ පිරිස් චිත්‍රපටයට දෝෂාරෝපණයන් එල්ල කිරීමට පටන් ගත්තේය. ඇයට මුල්ම තිරගත වීමටවත් සහභාගී වීමට අවසර නොලැබුණි. සමහර කෝපයට පත් ප්‍රේක්ෂකයන් විසින් චිත්‍රපටශාලාවේ තිරයට ගල් ගැසූ බවද සඳහන් වෙන අතර තිරය ඒ නිසා දැඩි හානියට පත් වු බවද සඳහන් වෙයි.

එවැනි හේතුන් නිසාත්, චිත්‍රපටයට කලා ප්‍රජාවෙන් හෝ ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට නොහැකි වු නිසාත් චිත්‍රපටයට දැරූ පිරිවැය නැවත එකතු කර ගැනීමටවත් ජේ.සී. ඩැනියෙල්ට හැකියාවක් නොවීය. චිත්‍රපටය දැඩි ලෙස පාඩු ලැබීය. චිත්‍රපටය යම් තාක් දුරටකට හෝ සාර්ථක වුයේ කේරලයේ ඇලෙප්පි හී ස්ටාර් චිත්‍රපට ශාලාවේ දී පමණයි. එයට හේතුව වුයේ ඇලෙප්පි හී සිටි සිනමා ප්‍රේක්ෂකයන් බොහෝමයක් ලිබරල්වාදී අදහස් දරන්නන් වීමයි.

 Alleppey නගරය (Travel Triangle)

චිත්‍රපටය ආසාර්ථක වීම නිසාම ජේ.සී ඩැනියෙල්ට නිෂ්පාදන සහාය දුන් අනිකුත් ගනුදෙනු කරුවන්ට ගෙවීමට මුදල් ඔහු සතුව නොමැති විය. ඒ නිසාම ඔහු සතුව තිබු සියලු චිත්‍රපට උපකරණ විකුණා දමා මුදල් ගෙවා අවසානයේ ඔහුගේ චිත්‍රාගාරය ද වසා දැමීමට ඔහුට සිදුවිය.

පසුව ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලයම දන්ත වෛද්‍යවරයෙකු ලෙස තමිල්නාඩුවේ පලයම්කෝට්ටෙයි ගත කළේය. ඔහුට ඔහුගේ නිවසද අහිමි වී තිබුණු අතර ඔහුගේ දෙමාපියන්ගේ දෙමාපියන්ට අයිතිව තිබූ නිවසේ ඔහු ජීවිතය ගත කළේය. රෝගී කලාකරුවන් උදෙසා වු විශ්‍රාම වැටුප සඳහා ඔහු අයදුම් කළද ඔහුට එම විශ්‍රාම වැටුප ලබා දීමද ප්‍රතිකේෂ්ප විය. ඔහු අන්ත දුගීයෙකු ලෙස ඔහුගේ ජීවිතය ගත කළේය.

නමුත් ගෝපාලක්‍රිෂණන් නම් මාධ්‍යවේදීයාගේ දැඩි උත්සාහය මත ජේ.සී. ඩැනියෙල්ට ඔහුට හිමි ගෞරවය දිනා දීමට කටයුතු කළ අතර මලයාලම් සිනමාවේ පියා ලෙසද ඔහුව නම් කළේ රාජ්‍ය ගෞරවයන් සහිතවයි.

නූතන මලයාලම් සිනමාව තුළද කුල වාදය, ආගම්වාදය සහ වර්ගවාදයට පහර ගසන ආකාරය අපට දැක ගැනීමට හැකිවෙයි. එය එම සිනාමව ප්‍රබලව ගොඩ නැගීමට යාථාර්ථවාදී සිනමාවක් ගොඩනැගීමට හේතුව වී ඇති බව කිව හැකිය. එහි ආරම්භකයා වන්නේ ජේ.සී ඩැනියෙල් නම් සොඳුරු මිනිසාය.

මුලාශ්‍රයන් – Wikipedia, IMDb, Kerala Culture, Upperstall

7+
avatar
Share This :

One thought on “මලයාලම් සිනමාවේ පළමු සලරුව “Vigathakumaran”

  1. වටිනවා බං සටහන.මලයාලම් වලට පිස්සු වැටුනා ප්‍රේමම් නිසා.classic මලයාලම් බලන්නේ මෑතක ඉඳන්.ඒ ගැන හොයද්දී ඔය නම අහු උනා.ඒත් මේ තරම් විස්තරයක් දැනන් හිටියේ නෑ….පට්ටම වටිනවා.❤️

    3+

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page